Thursday, April 4, 2013

පසුතැවීම...




“ ... අපි කොච්චර පිස්සු නැටුවද කාලේ... මතක් වෙනකොටත් හිනා යනවා...

ෆොන් එක ඔහේ කනේ තියාගෙන පරණ කතා කියව කියව ඉන්න කොට අතීතයට හිත යන්නේ නිතැතින්ම... ඔෆිස් ගිය හැටි... ඔලුව කැක්කුම හැදෙනකම් වැඩ කරපු හැටි... බැනුම් අහපු හැටි... වැඩක් ජයග්‍රාහී විදියට ඉවර කළාම ලැබුන තෘප්තිය... 

ඒක නේ... ඔයා මගෙන් කොච්චර නම් බැනුම් අහනවද ඉස්සර...

ඒක ඉතිං තාමත් එහෙමනේ... මේ කෝල් කරලත් බැනුම් අහන්නේ මම...”

බැනුම් අහන වැඩ නේ කරන්නේ ඉතිං තාමත්...”

ඇත්තටම ඒ කාලේ ඔයාගෙන් බැනුමක් අහන්නෙ නැතුව ගෙවිච්ච දවසක් නැති වෙන්න ඇති... ඒත් ඒ බැනුම් වලින් මම හිත රිද්දෝගත්තේ ඔයත් එක්ක තරහකට නම් නෙමෙයි... ඔයා බනින්නේ මට තියෙන ආදරේද කියලා දන්න නිසාවෙන්... 

ආදරේ කියන හැඟීමට වැට කඩොලු බඳින්න ලේසි නෑ... ඒත් ආදරේ කරන දෙන්නෙක් එකතු විය යුතුම කියලා මට හිතුනෙත් නෑ... ආදරේ කියන්නේ ආත්මාර්ථකාමී හැඟීමක් කියලා මම දැනගෙන හිටියා... 

ඒත් මේ ආදරේ එහෙම උනේ නෑ... මේ ආදරේ ඔයාව මට ලබාගන්න ඇති වෙච්ච ආදරයක් නෙවෙයි... ආදරේ නිසාම ඔයාට නැති වෙලා තිබ්බ, ඔයාව ආපහු ලබාදෙන්න කරපු ආදරයක්... 

දැන් ඉතිං ඉන්නේ ඔය බනින්න එක්කෙනෙක්...

අද ඔයා මගේ නෙවෙයි... අද මමත් ඔයාගේ නෙවෙයි... අපි, අපි දෙන්නා තෝරගත්ත වෙනස් පාරවල් වල ගියේ, අපි දෙන්නම වෙනුවෙන් හිතේ තිබ්බ ආදරේ ඒ විදියටම තියාගෙන... එහෙනං ඒ ආදරේ ආත්මාර්ථකාමී කියන්නෙ කොහොමද... 

මම අද ආදරණීය බිරිඳක්... ඔයා ආදරණිය සැමියෙක්... එදා ඔයා මං ඔයා ළඟට එනකම් බලං හිටියා කියලා මම දන්නවා... ඒත් මම කවදාවත් ඔයා ළඟ‌ට එන්න හිතුවේ නෑ... අපි කවදාවත් අපේ වෙන්න පැතුවේ නෑ... ඒත් අපේ ආදරේ අඩුවක් උනේ නෑ... 

අපෝ... බැන්නම ඔයා වගේම තමයි... හොටු පෙරන්න බලාගෙන ඉන්නේ...

එහෙම තමයි... ඔයා බනිනකොට කාටද ඇඬෙන්නේ නැත්තේ... පොල්ලෙන් ගහනවා වගේනේ බනින්නේ...

හපෝ ඔවු.. අඬවැඩියාව...

අනේ යනවා හලෝ යන්න... මේ ... ඒක නෙවෙයි... ගෙයි වැඩ පටන් ගත්තේ නැද්ද...

නෑ ... බඩු ටික ලෑස්ති කරගන්නවා මේ ටිකේ...”

ඔයාගේ ජීවිතේ ලස්සනම දේවලදි මාත් ඔයා එක්ක සතුටු වෙන්නෙ මගේ මුළු හදවතින්ම... 

ඒක හොඳයි... ඒක කල් දාන්න එපා... කට්ටිය බබාලා ගැන කියවන්න ගනී පරක්කු වෙනකොට... 

කියවන්න දෙයක් නෑ...

ඒ කිව්වේ ...

ඔයා දන්නවද මගේ පපුව මොනවද වෙලා ගියා කියලා...

දැන් මාස දෙකහමාරක් වෙනවා...

මගේ ඔලුවේ ඉඳලා පටන් ගත්ත හීතලක් කකුල් දෙක වෙනකම්ම ගියා...

ඇයි මෝඩයෝ මට කිව්වේ නැත්තේ... මට එහෙම උනා නම් මම ඉස්සෙල්ලම කියන්නේ ඔයාට නේද... ඔයා හරි නරකයි... මම අහනකම්ම හිටියා...

මට හිතාගන්න බෑ මගේ හිතේ මොන වගේ හැඟීමක්ද මේ වෙලාවේ තියෙන්නේ කියලා... 

ඔයාට කියන්න කියලා කී දවසක් හිතුවද මම... ඒත් කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා...

ඇයි දෙයියනේ... මම කොච්චර සතුටු වෙනවද... මට තරහා ඔයා නොකිව්ව එකට... මං ඉස්සර වගේ ස්පෙෂල් නැද්ද ඔයාට...

මට කියන්න ඇත්තටම... ඔයාට දුක නැද්ද...

දන් නෑ... මාව ඔලුවේ ඉඳලා කකුල් දෙකට යනකම්ම සීතල වෙලා... මට කියන්න තේරෙන් නැති අමුතුම හැඟීමක්...

ඔයාට ඔහොම වෙනවා කියලා දන්න නිසා තමයි මම නොකියා හිටියේ... 

ඒත් මම කවදාහරි දැනගන්නවානේ...

ඔවු... ඒත් මම මේක ඔයාට කියන්නේ කො‌ෙහාමද...

මට තේරෙනවා... මම ආත්මාර්ථකාමීයි... ඒකයි මෙහෙම වෙන්නේ... ”

ඔයා ආත්මාර්ථකාමී නෑ... ”

අනේ මට ඇඬෙනවානේ... ඔයා දන්නවනේ ... මම ඔයාට බොරු කියන්නේ නෑ ... මට දුකයි... තරහයි... ඒ එක්කම පුදුම සතුටුයි...

ඒත් ඔයාට නොකිව්වට මම දන්නවා මේ ඇයි කියලා... 

මම ඒක දන්නවා... ඒකයි මම කිව්වේ නැත්තේ... ඔයා කිව්වනං ඔයාට දුක නෑ කියලා, මම ඒක කවදාවත් පිළිගන්නේ නෑ... මම දන්නවා ඔයාව...

ඔයා ගැන මගේ හිතේ තිබ්බේ ආත්මාර්ථකාමී නොවෙන ආදරයක් කියලා මං මෙච්චර කල් හිතාගනෙ හිටියේ... ඒත් අද මට හිතෙනවා මම ඔයාට ආදරේ කලේ මගේම හේතුවලට කියලා... නැත්තම් මේ වෙලාවේ මට මේ විදියට හිතෙන්න හේතුවක් නෑ ... 

වැරදියට තේරුම් ගන්න එපා... මට ඇත්තටම සතුටුයි... මම දන්නවා ඔයා, ඔයාට හිටියේ නැති උනාට, හොඳම හොඳ තාත්තා කෙනෙක් වෙනවා කියලා... ඔයා හොඳ සැමියෙක් උනා... මම දැනගෙන හිටියා මට තිබ්බ ආදරේ වෙනකෙනෙක්ට දෙන්නේ නැති උනත් ඔයා ගාව තව ගොඩක් ආදරේ තියෙනවා කියලා... එදත් මම හරි... ඒ වගේම අදත් මම හරි කියලා මම දන්නවා... ඒ ගැන මට සතුටුයි... ඔයාගේ ජීවිතේ අද කොච්චර ලස්සනට ගෙවෙනවද කියලා දැකලා මම සතුටු වෙන තරම් දන්නේ මම විතරයි... 

මම දන්නවා ඔයා මේක මට නොකියා ඉන්න හේතුව...  ඔයා මාව ඒ තරම් හොඳට දන්න නිසා ...

ඒත් අද මට දුකක් දැනුනා... 

ඒ තාමත් අම්මා කෙනෙක් වෙන සතුට මට දැනිලා නැති නිසා... 

2 comments:

  1. මේකත් අර කසාදේ වගේම තමා.. විවෘත සබැදියාවක් ගැන ඉගියක්. හැබැයි මට තේරෙන්නේ නෑ ඇයි මේක හංගන්නේ කියලා. මම කිව්වේ මාස දෙකහාමාර.. එතන වෙන දෙයක් තියේද... හිතාගන්න බෑ.. කොහොම උනත් කතාව හොදා. ඉංගිරිසි ඩයලොග් වල ව්‍යාකරණ අවුල් ටිකක් ඇත..

    ReplyDelete