Friday, March 29, 2013

මියයන්නට පෙර...


මම මිය යමින් සිටිමි.

මේ මරණය අහඹු සිදුවීමක් නොවේමා විසින් දින කීපයක්ම හොඳින් සිතා බලා ගත් තීරණයකි. 

මරණ මොහොතේදී මා හට කුමක් සිතේවිදැයි මා සිතුවේ නැතිදැයි ඇසුවොත් එයට මට පිළිතුරක් ඇත. ඒ ඔවු යන්නයිමා කිසිවක් සිතන්නේ නැති බව මටම පොරොන්දු වූවෙමි. හොඳ සිහියෙන් මිය යා යුතුයැයි මා තීරණය කළ බැවින් නිදි පෙති නොව වෙනත් ඖෂධයක් ලබාගත්තෙමි.

එහෙත් මා සිත තුළට සිතුවිලි ගලා එන්නේ ගංවතුරක් මෙනි.

නිර්ආගමිකයෙකු යැයි මටම කියා ගත්තා වූ මා හට, මරණ මංචකයේදී මා දන්නා වූ සියලුම ආගම් තුල ඉගැන්වෙන්නා වූ “පව” පිළිබඳ මතකයට එන්නේ කුමන හේතුවක් නිසාද...? 

ආගම් එක්කම මතකයට එන්නේ අත්තම්මාය.

මගේ අත්තම්මා හතරපෝයට සිල්ගත්තා වූ උපාසිකාවක් වූවාය. කුඩා මා, ඈ උකුලේ හිඳුවාගෙන පවු පින් ගැන කියා දුන් අයුරු මට යන්තමට මතකයේ ඇත.

පවු කළාම අපායේ යනවා... ඒක නිසා මයේ අප්පා පින් කරන්ට ඕනෑ... එතකොට දිවියලෝකේ යන්ට පුළුවන්...

උඹලෑ සීයා දඩයමේ යද්දී, වලහා ගහලා මළේ උන්දැ කරපු පවු නිසා....

පවු පින් ගැන මට කියා දෙමින් ඈ එක් විටෙක කීවාය.

අපේ අප්පෝ මං වගේ පවුකාරියක්... මෙහෙම කතා අහන්ට මාත් ජීවත් උනානේ.. අනේ මේ අපායෙන් ගැලවෙන්ට මාව මැරිලා වත් යන්නේ නෑ නේ දෙයියනේ....

ඇගේ ලේලිය වූ අපෙ අම්මා සමඟ බහින්බස් වූ විට අත්තම්මා හැමවිටම මෙසේ කියමින් හැඬු බවද මට මතකය.

අත්තම්මා කියු පව් අතර සියදිවි නසා ගැනීමත් වූ බව මට මතකය.

ඇත්තටම එදා ඈ කීවේ සියදිවි නසා ගැනීම පවක් කියාද ? මා තවත් ගැඹුරට මතකය අවුස්සමි.

මේ ජීවිතේ අපි ලබා ගන්නේ බොහොම අමාරුවෙන්... ඒක නැති කරගන්න එක පවක්... ඒක තවත් ජීවිතයක් නැති කරනවට වඩා පවක්...

ඕවිටේ ගෙදර සෝමක්කා ගෙල වැල දාගෙන සියදිවි නසා ගන්නට තැත් කළ බව ආරංචි වූ කල අත්තම්මා කීවා මට මතකය. සෝමක්කා ගෙල වැල දාගත්තේ, ලොක්කක්කාගේ සැමියා වූ සිසිරයියා නිසා, ඈ ගැබ් ගෙන සිටි බැවින් යැයි මා පසු කලෙක දැනගත් විට,

පවුකාරී... කසාද බඳින්නෙත් නැතුව තොගේ බඩට ළමයෙක් ආවේ කොහොමද යි අසමින් එදා ලොක්කක්කා, සෝමක්කාගේ කෙහෙවල්ලෙන් අල්ලා ඇයට ඉලපතෙන් පහර දුන් හැටි මට මතක් විය.

තමන්ගේ මිනිහව හදාගන්න බැරි මේ පවුකාරී හින්දානේ මේ ඔක්කොම... යැයි දෙස් තියමින් ලොක්කක්කලාගේ අම්මා ඉසේ කෙස් කඩාගත්තාය. 

  අත්තම්මේ සෝමක්කා පවු නේද යි අසන්නට උවමනාව තිබ්බද, ඒ වන විට අත්තම්මා මා අතහැර ගොස් බොහෝ කලක් ගතවී තිබුණි.  ඒ නිසා මම එය අම්මාගෙන් ඇසුවෙමි. 

අර පවුකාරයා තමයි ඔය අහිංසක පවුලම විනාස කළේ...  අර කෙල්ලගේ බඩේ උන්න දරු පැටියත් නැති කළා... හොදට හිටපු කෙල්ල ඇඳට වැටුනා... පූරුවේ පලියක් ගන්න ආපු එකෙක්ද කොහෙද...

අම්මා එසේ කීවේ තලමින් සිටි පොල් ලෙල්ලට වෙර දමා ගසමිනි.  ඒ නිසා ඇය දත්මිටි කෑවේ, ගත් වෙර නිසාද, නැතිනම් හිතේ තිබූ තරහා පිට කරගැනීමටද කියා මට අවබෝධයක් නැත.

මා මිය ගිය පසු අත්තම්මාගෙන් ඇසීමට බොහෝ දෑ තිබේ.

අත්තම්මේ එතකොට හැමෝම පවුකාරයෝ ද... ”

එහෙනං කවුරුවත් දිවියලෝකේ යන එකක් නෑ නේ... 

අත්තම්මා දිවියලෝකේ ගියාද... 

මාත් පවුකාරයෙක්ද....

මට අපායේ යන්න වෙයිද...

අත්තම්මේ... පවු කියන්නේ මොනාද....”