Sunday, August 18, 2013

පරණ පිස්සු මතක සටහන් අතර...

රැප් කලිසමට ටීෂර්ට් එක දාලා, 
පොතයි පෑනයි තම්බ් ඩ්‍රයිව් එකයි සාක්කු ටිකේ දාගෙන මම ආවෙ...

ඩෙනිමයි ටීෂර්ට් එකයි, 
පපුව හරහට දාගත්ත බෑග් එකේ වතුර ‌බෝතලෙයි උදේ කෑමයි, 
වැස්ස දවසට කුඩේකුයි අරං ඔයා... 

හැමදාම පරක්කු වෙලා මං, 
බස්‌ එකෙන් බැහැලා ඔයා ළඟට දුවං ආවම, 
හිනා වෙලා මගේ අතේ තිබ්බ ටික ඔයාගෙ බෑග් එකේ දාගෙන 
ක්ලාස් ගිය පිස්සු කාලෙ මතකද... 

ඒ දවස්වල හැමෝම මගෙන් ඇහුවේ

 ඒ ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ද...

දන්නවද මං කිව්වෙ මොකද්ද කියලා... 

 පිස්සුද.. එයාව මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට වැඩිය ගොඩක් වටිනවා... 


ඒයි පිස්සු මැන්ටලේ... ඔයා නාකි වෙලා හලෝ... 


Sunday, April 21, 2013

ෆොටෝ එකක්...



ෆොටෝ එකක් කියන්නේ මතක කන්දරාවක්... 
පපුවේ ගැස්ම වෙනස් කරන අකුණු සැරයක්...
ඒ අකුණු සැරය අද මගේ හදවතට වැදුනා...
ඒ ඔයා හින්දා...

ලොකු ලොකු සත්තු මැද්දේ 
අපි දෙන්නා පුංචි හාවෝ දෙන්නෙක් විතරයි එදා... 
ඒත් අපි හැංගිමුත්තන් සෙල්ලම් කළේ 
හරිම සන්තෝසෙන්...

අපි හිනාවුනේ
මුලු හදවතින්ම...

අපි රණ්ඩු උනේ නෑ... 

ඇයි කියලද ඇහුවේ...

අපි මොනවට රණ්ඩු වෙන්නද...

අද හැමදේම වෙනස් 
අපි දෙන්නා දෙපැත්තක
ලොකු සත්තු දිනලා...

ඒත් ඇත්තටම එයාලා දිනලද...

ලොකු සත්තු මැද්දේ 
හැංගිලා අපි අදත් හිනාවෙනවා...

අපේ හිනාව උදුරන්න කාටවත් බැරිවෙයි...

අ‌ෙප් හදවත්
අපි වෙනුවෙන්මයි...
මේ හිනාව අපි වෙනුවෙන්මයි...

කසාදය...


ඉතිං... උඹ ඔච්චර එයාට ආදරෙයි නම් ඇයි එයාව මැරි කරන්නේ නැත්තේ...

මං ඒකට කැමති නැති නිසා...”

එහෙනං මොන මඟලටද උඹ එයාට ඔච්චර ආදරේ කරන්නේ... 

ආදරේ කරනවා නම් මැරි කරන්න ඕනෙමද...

යකෝ ... මිනිස්සු තමන් ආදරේ කරන එකාව මැරි කරන්න කොච්චර නහිනවද... කොච්චර ෆයිට් කරනවද... ආදරේ කරන්‌ෙන් එකට ජීවත් වෙන්න නෙවෙයිද....

මා ආදරේ කරන්නේ කසාද බඳින්න නෙවෙයි....

මොකද්ද බං ඒ හරුපේ....

එයාට මං ආදරේ කරන්නේ එයාගෙන් මං වෙනුවෙන් මුකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි... මං එයාව මැරි කරනවා කියන්නේ එයාට මං වෙනුවෙන් දේවල් කරන්න වෙනවා කියන එක... මං හිතන්නේ නෑ එයා එහෙම දේකින් සතුටු වෙයි කියලා...

උඹ මෙහෙ අංජනම් බලනවා... අඩුගානේ උඹ එයා එක්ක මැරි කරන එක ගැන කතාවත් කළාද....

ම්හු...

ඔය... මං කිව්වේ නැද්ද... See... I told you...“ 

Why doesn't you to talk to him about it...

Because I don't want to get married... not only to him, but anyone...

 Why... are you afraid...

 May be... maybe not... I doesn't want him to change himself because of me...

මොකද්ද බං ඒ කතාව... මිනිස්සු වෙනස් වෙනවා බැන්දත් නැතත්... ඒක වෙනස් කරන්න බෑනේ...

බඳින්න ඕනේ තමන්ට අවශ්‍ය නම් මිසක් සමාජෙට ඕනේ නිසා නෙවෙයි බං... අපි මෙහෙ කසාද බඳින්නේ සමාජෙට බයේ... මිනිස්සු කතන්දර කියයි කියලා... බැන්දට පස්සේ ගෙවල් දොරවල් ප්‍රශ්න... බඳින උන්ට බැන්ඳට පස්සෙ වත් තමන්ට ඕනේ විදියට ජීවත් වෙන්න හම්බුවෙනවද... ගෙවල් දොරවල් හදන්න ඕනේ... ළමයි හදන්න ඕනේ... ස්ටෑන්ඩර්ඩ් තියාගෙන ජීවත් වෙන්න ඕනේ... ඔය ටික කරනකොට මිනිස්සුන්ට ඕනේ උනත් නැතත් වෙනස් වෙන්න වෙනවා... මං ඒකට කැමති නෑ... එයා දුක් විඳිනවා කියලා මං දන්නවා... එයා දුක් විඳිනකොට මාත් දුක් විඳිනවා... එහෙම ජීවත් වෙලා මොකටද... 

දැන් අපි දෙන්නා අපිට ඕනේ විදියට ජීවත් වෙනවා... අපි දෙන්නා අපි දෙන්නාගේ ජීවිත ගෙවනවා... අපි දෙන්නම ඒක කරන්නේ සන්තෝසෙන්... කෙහෙල්මල් සමාජයක් හින්දා අපි දුක් විඳින්න ඕනේද බං...

Thursday, April 4, 2013

පසුතැවීම...




“ ... අපි කොච්චර පිස්සු නැටුවද කාලේ... මතක් වෙනකොටත් හිනා යනවා...

ෆොන් එක ඔහේ කනේ තියාගෙන පරණ කතා කියව කියව ඉන්න කොට අතීතයට හිත යන්නේ නිතැතින්ම... ඔෆිස් ගිය හැටි... ඔලුව කැක්කුම හැදෙනකම් වැඩ කරපු හැටි... බැනුම් අහපු හැටි... වැඩක් ජයග්‍රාහී විදියට ඉවර කළාම ලැබුන තෘප්තිය... 

ඒක නේ... ඔයා මගෙන් කොච්චර නම් බැනුම් අහනවද ඉස්සර...

ඒක ඉතිං තාමත් එහෙමනේ... මේ කෝල් කරලත් බැනුම් අහන්නේ මම...”

බැනුම් අහන වැඩ නේ කරන්නේ ඉතිං තාමත්...”

ඇත්තටම ඒ කාලේ ඔයාගෙන් බැනුමක් අහන්නෙ නැතුව ගෙවිච්ච දවසක් නැති වෙන්න ඇති... ඒත් ඒ බැනුම් වලින් මම හිත රිද්දෝගත්තේ ඔයත් එක්ක තරහකට නම් නෙමෙයි... ඔයා බනින්නේ මට තියෙන ආදරේද කියලා දන්න නිසාවෙන්... 

ආදරේ කියන හැඟීමට වැට කඩොලු බඳින්න ලේසි නෑ... ඒත් ආදරේ කරන දෙන්නෙක් එකතු විය යුතුම කියලා මට හිතුනෙත් නෑ... ආදරේ කියන්නේ ආත්මාර්ථකාමී හැඟීමක් කියලා මම දැනගෙන හිටියා... 

ඒත් මේ ආදරේ එහෙම උනේ නෑ... මේ ආදරේ ඔයාව මට ලබාගන්න ඇති වෙච්ච ආදරයක් නෙවෙයි... ආදරේ නිසාම ඔයාට නැති වෙලා තිබ්බ, ඔයාව ආපහු ලබාදෙන්න කරපු ආදරයක්... 

දැන් ඉතිං ඉන්නේ ඔය බනින්න එක්කෙනෙක්...

අද ඔයා මගේ නෙවෙයි... අද මමත් ඔයාගේ නෙවෙයි... අපි, අපි දෙන්නා තෝරගත්ත වෙනස් පාරවල් වල ගියේ, අපි දෙන්නම වෙනුවෙන් හිතේ තිබ්බ ආදරේ ඒ විදියටම තියාගෙන... එහෙනං ඒ ආදරේ ආත්මාර්ථකාමී කියන්නෙ කොහොමද... 

මම අද ආදරණීය බිරිඳක්... ඔයා ආදරණිය සැමියෙක්... එදා ඔයා මං ඔයා ළඟට එනකම් බලං හිටියා කියලා මම දන්නවා... ඒත් මම කවදාවත් ඔයා ළඟ‌ට එන්න හිතුවේ නෑ... අපි කවදාවත් අපේ වෙන්න පැතුවේ නෑ... ඒත් අපේ ආදරේ අඩුවක් උනේ නෑ... 

අපෝ... බැන්නම ඔයා වගේම තමයි... හොටු පෙරන්න බලාගෙන ඉන්නේ...

එහෙම තමයි... ඔයා බනිනකොට කාටද ඇඬෙන්නේ නැත්තේ... පොල්ලෙන් ගහනවා වගේනේ බනින්නේ...

හපෝ ඔවු.. අඬවැඩියාව...

අනේ යනවා හලෝ යන්න... මේ ... ඒක නෙවෙයි... ගෙයි වැඩ පටන් ගත්තේ නැද්ද...

නෑ ... බඩු ටික ලෑස්ති කරගන්නවා මේ ටිකේ...”

ඔයාගේ ජීවිතේ ලස්සනම දේවලදි මාත් ඔයා එක්ක සතුටු වෙන්නෙ මගේ මුළු හදවතින්ම... 

ඒක හොඳයි... ඒක කල් දාන්න එපා... කට්ටිය බබාලා ගැන කියවන්න ගනී පරක්කු වෙනකොට... 

කියවන්න දෙයක් නෑ...

ඒ කිව්වේ ...

ඔයා දන්නවද මගේ පපුව මොනවද වෙලා ගියා කියලා...

දැන් මාස දෙකහමාරක් වෙනවා...

මගේ ඔලුවේ ඉඳලා පටන් ගත්ත හීතලක් කකුල් දෙක වෙනකම්ම ගියා...

ඇයි මෝඩයෝ මට කිව්වේ නැත්තේ... මට එහෙම උනා නම් මම ඉස්සෙල්ලම කියන්නේ ඔයාට නේද... ඔයා හරි නරකයි... මම අහනකම්ම හිටියා...

මට හිතාගන්න බෑ මගේ හිතේ මොන වගේ හැඟීමක්ද මේ වෙලාවේ තියෙන්නේ කියලා... 

ඔයාට කියන්න කියලා කී දවසක් හිතුවද මම... ඒත් කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා...

ඇයි දෙයියනේ... මම කොච්චර සතුටු වෙනවද... මට තරහා ඔයා නොකිව්ව එකට... මං ඉස්සර වගේ ස්පෙෂල් නැද්ද ඔයාට...

මට කියන්න ඇත්තටම... ඔයාට දුක නැද්ද...

දන් නෑ... මාව ඔලුවේ ඉඳලා කකුල් දෙකට යනකම්ම සීතල වෙලා... මට කියන්න තේරෙන් නැති අමුතුම හැඟීමක්...

ඔයාට ඔහොම වෙනවා කියලා දන්න නිසා තමයි මම නොකියා හිටියේ... 

ඒත් මම කවදාහරි දැනගන්නවානේ...

ඔවු... ඒත් මම මේක ඔයාට කියන්නේ කො‌ෙහාමද...

මට තේරෙනවා... මම ආත්මාර්ථකාමීයි... ඒකයි මෙහෙම වෙන්නේ... ”

ඔයා ආත්මාර්ථකාමී නෑ... ”

අනේ මට ඇඬෙනවානේ... ඔයා දන්නවනේ ... මම ඔයාට බොරු කියන්නේ නෑ ... මට දුකයි... තරහයි... ඒ එක්කම පුදුම සතුටුයි...

ඒත් ඔයාට නොකිව්වට මම දන්නවා මේ ඇයි කියලා... 

මම ඒක දන්නවා... ඒකයි මම කිව්වේ නැත්තේ... ඔයා කිව්වනං ඔයාට දුක නෑ කියලා, මම ඒක කවදාවත් පිළිගන්නේ නෑ... මම දන්නවා ඔයාව...

ඔයා ගැන මගේ හිතේ තිබ්බේ ආත්මාර්ථකාමී නොවෙන ආදරයක් කියලා මං මෙච්චර කල් හිතාගනෙ හිටියේ... ඒත් අද මට හිතෙනවා මම ඔයාට ආදරේ කලේ මගේම හේතුවලට කියලා... නැත්තම් මේ වෙලාවේ මට මේ විදියට හිතෙන්න හේතුවක් නෑ ... 

වැරදියට තේරුම් ගන්න එපා... මට ඇත්තටම සතුටුයි... මම දන්නවා ඔයා, ඔයාට හිටියේ නැති උනාට, හොඳම හොඳ තාත්තා කෙනෙක් වෙනවා කියලා... ඔයා හොඳ සැමියෙක් උනා... මම දැනගෙන හිටියා මට තිබ්බ ආදරේ වෙනකෙනෙක්ට දෙන්නේ නැති උනත් ඔයා ගාව තව ගොඩක් ආදරේ තියෙනවා කියලා... එදත් මම හරි... ඒ වගේම අදත් මම හරි කියලා මම දන්නවා... ඒ ගැන මට සතුටුයි... ඔයාගේ ජීවිතේ අද කොච්චර ලස්සනට ගෙවෙනවද කියලා දැකලා මම සතුටු වෙන තරම් දන්නේ මම විතරයි... 

මම දන්නවා ඔයා මේක මට නොකියා ඉන්න හේතුව...  ඔයා මාව ඒ තරම් හොඳට දන්න නිසා ...

ඒත් අද මට දුකක් දැනුනා... 

ඒ තාමත් අම්මා කෙනෙක් වෙන සතුට මට දැනිලා නැති නිසා... 

Friday, March 29, 2013

මියයන්නට පෙර...


මම මිය යමින් සිටිමි.

මේ මරණය අහඹු සිදුවීමක් නොවේමා විසින් දින කීපයක්ම හොඳින් සිතා බලා ගත් තීරණයකි. 

මරණ මොහොතේදී මා හට කුමක් සිතේවිදැයි මා සිතුවේ නැතිදැයි ඇසුවොත් එයට මට පිළිතුරක් ඇත. ඒ ඔවු යන්නයිමා කිසිවක් සිතන්නේ නැති බව මටම පොරොන්දු වූවෙමි. හොඳ සිහියෙන් මිය යා යුතුයැයි මා තීරණය කළ බැවින් නිදි පෙති නොව වෙනත් ඖෂධයක් ලබාගත්තෙමි.

එහෙත් මා සිත තුළට සිතුවිලි ගලා එන්නේ ගංවතුරක් මෙනි.

නිර්ආගමිකයෙකු යැයි මටම කියා ගත්තා වූ මා හට, මරණ මංචකයේදී මා දන්නා වූ සියලුම ආගම් තුල ඉගැන්වෙන්නා වූ “පව” පිළිබඳ මතකයට එන්නේ කුමන හේතුවක් නිසාද...? 

ආගම් එක්කම මතකයට එන්නේ අත්තම්මාය.

මගේ අත්තම්මා හතරපෝයට සිල්ගත්තා වූ උපාසිකාවක් වූවාය. කුඩා මා, ඈ උකුලේ හිඳුවාගෙන පවු පින් ගැන කියා දුන් අයුරු මට යන්තමට මතකයේ ඇත.

පවු කළාම අපායේ යනවා... ඒක නිසා මයේ අප්පා පින් කරන්ට ඕනෑ... එතකොට දිවියලෝකේ යන්ට පුළුවන්...

උඹලෑ සීයා දඩයමේ යද්දී, වලහා ගහලා මළේ උන්දැ කරපු පවු නිසා....

පවු පින් ගැන මට කියා දෙමින් ඈ එක් විටෙක කීවාය.

අපේ අප්පෝ මං වගේ පවුකාරියක්... මෙහෙම කතා අහන්ට මාත් ජීවත් උනානේ.. අනේ මේ අපායෙන් ගැලවෙන්ට මාව මැරිලා වත් යන්නේ නෑ නේ දෙයියනේ....

ඇගේ ලේලිය වූ අපෙ අම්මා සමඟ බහින්බස් වූ විට අත්තම්මා හැමවිටම මෙසේ කියමින් හැඬු බවද මට මතකය.

අත්තම්මා කියු පව් අතර සියදිවි නසා ගැනීමත් වූ බව මට මතකය.

ඇත්තටම එදා ඈ කීවේ සියදිවි නසා ගැනීම පවක් කියාද ? මා තවත් ගැඹුරට මතකය අවුස්සමි.

මේ ජීවිතේ අපි ලබා ගන්නේ බොහොම අමාරුවෙන්... ඒක නැති කරගන්න එක පවක්... ඒක තවත් ජීවිතයක් නැති කරනවට වඩා පවක්...

ඕවිටේ ගෙදර සෝමක්කා ගෙල වැල දාගෙන සියදිවි නසා ගන්නට තැත් කළ බව ආරංචි වූ කල අත්තම්මා කීවා මට මතකය. සෝමක්කා ගෙල වැල දාගත්තේ, ලොක්කක්කාගේ සැමියා වූ සිසිරයියා නිසා, ඈ ගැබ් ගෙන සිටි බැවින් යැයි මා පසු කලෙක දැනගත් විට,

පවුකාරී... කසාද බඳින්නෙත් නැතුව තොගේ බඩට ළමයෙක් ආවේ කොහොමද යි අසමින් එදා ලොක්කක්කා, සෝමක්කාගේ කෙහෙවල්ලෙන් අල්ලා ඇයට ඉලපතෙන් පහර දුන් හැටි මට මතක් විය.

තමන්ගේ මිනිහව හදාගන්න බැරි මේ පවුකාරී හින්දානේ මේ ඔක්කොම... යැයි දෙස් තියමින් ලොක්කක්කලාගේ අම්මා ඉසේ කෙස් කඩාගත්තාය. 

  අත්තම්මේ සෝමක්කා පවු නේද යි අසන්නට උවමනාව තිබ්බද, ඒ වන විට අත්තම්මා මා අතහැර ගොස් බොහෝ කලක් ගතවී තිබුණි.  ඒ නිසා මම එය අම්මාගෙන් ඇසුවෙමි. 

අර පවුකාරයා තමයි ඔය අහිංසක පවුලම විනාස කළේ...  අර කෙල්ලගේ බඩේ උන්න දරු පැටියත් නැති කළා... හොදට හිටපු කෙල්ල ඇඳට වැටුනා... පූරුවේ පලියක් ගන්න ආපු එකෙක්ද කොහෙද...

අම්මා එසේ කීවේ තලමින් සිටි පොල් ලෙල්ලට වෙර දමා ගසමිනි.  ඒ නිසා ඇය දත්මිටි කෑවේ, ගත් වෙර නිසාද, නැතිනම් හිතේ තිබූ තරහා පිට කරගැනීමටද කියා මට අවබෝධයක් නැත.

මා මිය ගිය පසු අත්තම්මාගෙන් ඇසීමට බොහෝ දෑ තිබේ.

අත්තම්මේ එතකොට හැමෝම පවුකාරයෝ ද... ”

එහෙනං කවුරුවත් දිවියලෝකේ යන එකක් නෑ නේ... 

අත්තම්මා දිවියලෝකේ ගියාද... 

මාත් පවුකාරයෙක්ද....

මට අපායේ යන්න වෙයිද...

අත්තම්මේ... පවු කියන්නේ මොනාද....”